චතුරංගි හර්ශිකා Nisadas Count (437)
චතුරංගි හර්ශිකා 6 years ago 249 4 8
හිත කෑ ගහලා ඇඬුවට මම ඉඩ දෙන්නේ නෑ... තව නුඹ ගැනම හිතුවට දැන් ප්‍රේමයක් නෑ... මනසට නිතර ආවත් මට නුඹ ඕනි නෑ... නුඹ දුටුවාම ආයෙත් මම වැලපෙන්නෙ නෑ... මල් පිපෙන හැම ගහකම මල් පවතින්නෙ නෑ... පර මල් බිමට හැලුණට ගහ වඳ වෙන්නෙ නෑ... එක බසයක් මග හැරුණට මග තනි වෙන්නෙ නෑ... මහ පාරේ තව වාහන නෑවිත් තිබුණෙ නෑ... ගිම්හානය ගස් මැරුවට කතරක් මැවුණෙ නෑ... මහ සාගරය ගැලුවත් මිනිසුන් වැටුණෙ නෑ... එක පිටුවක් නිම වූවත් තව පොත අහවර නෑ... එක කවියක් නැවතුණ මුත් කවියා තව මැරුණෙ නෑ... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 386 4 6
මේ මද්දහන මැද්දෙ ගිනිගන්න නුඹේ ගැන මට දුකයි මේ තරම් ඉවසයිද කවුරුවත්... කහ පාට රතු වෙලා ඉර ඉතිං ගිනි අරං ඒත් කදුලක් නොහලා ඉන්න හැටි පුදුමයක්... වළාකුළු නං ඉතින් මේ සැරට පිච්චිලා අළු වෙලා යන්න ඇති ඒ නිසයි අහස හිස්... මොන තරම් පෑව්වත් ගිනි අරං පිච්චුණත් අළු වෙලා උණු වෙලා මියැදුණේ නැහැ නුඹත්... ඉර හරිම පුදුමයක් දවස තිස්සෙම දුකක් දරාගෙන පසු දිනත් නුඹ එනවා ආයෙමත්... ඉරත් දුක් ගිනි දරන් හැමදාම හිනැහෙනා මවක් වාගෙයි කියා හිතෙනවා මට දැනුත්... ගිනි ගහන අව් ගින්න දරාගන්නට බැරුව මිනිස්සුත් ඉතිං තව ඉරට බනිනව වුණත්... හැම දේම විද දරන් එකවගේ ශක්තිමත් නුඹ වගේ කෙනෙක් නම් මම දැකලා නෑ තවත්... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 284 3 6
නැවතුණු තැනින් ඉතිං ආයෙමත් අරඹන්න වැටෙන හැම මොහොතකම මට යළිත් නැගිටින්න... හැකි බවක් මම ඉතින් උගත්තේ හරි පුදුම නේක නිසදැස් ලියූ මෙහෙ උන්ගෙ කවි වලින්... මම මෙහෙට ආවාම මගෙ හිත නිවා ගන්න ලොවට නොකියන කදුළු මේ පිටුවෙ හැරයන්න... බොහෝ උන් මම දුටුවා වේදනා විඳගන්න ඇවිත් ගිය බවක් මෙහි කදුළු හලලා යන්න... සතුට දුක හැමදේම කවි කරපු අකුරු ළග ඇතැම් තැනකදි කදුළු මහ ගොඩක් තිබුණාට... හැමතැනම මුතු අකුරු අමුණාපු කවි අතර හැම දේම රසවිඳින හිතක් තිබුණා උන්ට... හඩපු කදුළුත් හිදෙන්නට පෙර හිනා වෙන්නට හේතු ලිවු අය ප්‍රේමයේ රළු වේදනා මැද වේදනාවත් කවි කරපු අය... අහස පොළවට ලෝකයට නෙක සොබාදහමට ප්‍රේම කළ අය ජීවිතේ සතුටත් දුකත් මේ සොඳුරු පිටු මත අකුරු කළ අය... හිනාවෙන අය හඩා යන අය ලියූ නිසදැස් රසවිඳින අය නේක විධ වූ කවිකාර අය මේ පිටුව තුළ මම දුටුව අය... වේදනාවත් කදුල සුසුමත් පොදු දෙයක් බව ලෝකයේ තව මේ ඉසව්වෙන් මම උගත්තා ජීවිතේ හැම තැනම කවි රස... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 239 4 6
හැමදේම දරාගෙන හැමදාම එක වගේ ආදරේ සුරකින්න හැකි හිතක් තිබුණාද... රළු ගැහැට ආ විටදි ප්‍රේමියව රැක ගන්න හැකි එකම පෙම්වතෙක් මෙමිහිමත හිටියාද... කාලයේ මෙතෙක් දුර සැබෑ ලොව නොදැකි එක සුන්දරම ප්‍රේමයක් අහම්බෙන් දුටුවාම... මට ලෝභ හිතෙනවා මම නොදුටු ප්‍රේමයක් උන්ගෙ ඇස් ඇතුලෙ මට ඇත්තටම පේනකොට... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 292 4 6
නුඹව අමතක කරන්නට මට තවම හයියක් නැති නිසා දුරකථනයෙන් මැකූ අංකය අද යළිත් ඇතුලත් කළා... නුඹේ ගිණුමේ ඇති පුරුදු ඒ නුඹේ රූපය දෙස බලා මොහොතකට මගෙ හිත විමසුවා නුඹට කොහොමද දැන් කියා... මකා දමලා ඔබේ අංකය නොහැක හැර යන්නට සදා ඔබේ අංකය මගේ මතකය ඇතුලෙමයි ලියවුණෙ එදා... කොයිතරම් අමතක කළත් යළි මම මටම යළි පවසනා මගේ යටි සිත ඔබේ අංකය තවම අමතක නොකෙරුවා... නැවත ආයෙත් නුඹේ අංකය මගේ දුරකථනෙන් මකා ඉවත තැබුවත් නුඹ වගේ මට නුඹේ අංකෙත් හුරුවෙලා... යමෙකු ඉදහිට මගේ අංකය ඇසුව පසුවත් හඩ නගා මගේ හිත මට උඹේ අංකය කියනවා මේ අද පවා... අපේ මතකය කැටයමකි මම මගේ හිත්ගල මත තැනූ එය දකින හැම මොහොතකම මගෙ හිත හොරෙන් රිදවයි නෙතූ... හිතේ මම නුඹ කැටයමක් ලෙස මැව්වාට පෙරගිය දිනේ නුඹ මගේ මතකය පොදක් වත් තියාගත්තේ නැහැ වගේ... මේ තරම් කාලයක් ගතවී නුඹට අමතක මේ හිතේ පෙර රැයෙත් කදුලක් නැගුණෙ ඇයි මට පවා තව නොතේරේ... නුඹෙ හිතේ තව මගෙ නමට නෑ ප්‍රේමයක් නම් මේ භවේ මගෙ මතක තුළ නුඹ මැවෙන්නේ අද වුණත් නුඹ මගෙ වගේ... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 309 4 2
අකීකරු හිත අස්සෙ මොහොතකට ඉරි ඇන්ද දඟකාර දෙපා පොඩි හොර හොරෙන් මං ගාව... උදේ හවසත් ඉතින් මහ රෑත් ලඟ ඉන්න හොඳම මිතුරා මගේ ඔය සිඟිති හුරතලය... පුංචි දෑසින් බලා ලඟින් දැවටී ඉන්න හැම මොහොතකම වගේ දෙපා ලඟ ගුලිවෙන්න... දඟකාර කම් ඉතින් අඩු නැතිව හැම තැනම බොඳ කරන මගෙ කිටී උඹ තමයි මගේ මල... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 276 2 2
මේ මල් පිරුණු පාරේ නෑ කටු පඳුරු... හිතවත් මගේ සිතුවිලිවල නෑ කදුළු... වස්සානයට මියැදෙන සමහර පඳුරු... ගිම්හානයේ දළු දැම්මා තුළ වදුළු... අද මම මගේ ජීවිතයේ නැවතුමක... සිනහව සොයා ආ මග එක හැරවුමක... පෙරුම් පුරා ආ ගමනේ සැනසුමක... මල් ලිය මඩුළු මැද හිනැහෙමි මොහොතකට... මේ බිම මගේ දුක සැප සමසේ ගන්න... මගෙ ජීවිතේ දිනයක මට ජයගන්න... නුඹෙ ඔය සෙවන මහමෙරක්ය මගෙ හිතට... මේ පින් බිමේ නැත කදුලැලි ඇහිදින්න... සිනහව බෙදමි වස්සානේ දැන් ඔන්න... චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 309 4 4
ගිරවුන්ට මොර බෙදන වැව අයිනෙ මොර ගහට පෙර රැයේ ආ සුළග කස පහර දුන්නාද... මං පුංචි සන්ධියේ හැම හවසකම වගේ ඒ ගහේ අතු ගානෙ දැවටුණි සුළග වගේ... දෙණියෙ පොඩි උන් එක්ක මොර වාරයේ හවස කුස පිරෙන තුරුම මොර හිත පුරා වැළදුවේ... අවාරෙට පවා ඒ මහ විසල් මොර ගසේ අඩු නැතිව කහ පාට මොර නොඅඩුව ම තිබේ... රාත්‍රියෙ ගොම්මනට පවා ඉදහිට තැනක කහපාට මොර මලක් නිරන්තර හිනැහුනේ... වවුලන් පවා රෑට මොර ගහේ අතු ගානෙ රෑ වේල මොරවලින් පිරිමහන්නට ගියේ... අතු කඩා කිසි දිනෙක මොර නොකන ගම්මුන්ට හැමදාම මොර දුන්න හිතවත් මවක් වගේ... මේ මොර ගහේ හෙවනෙ අපේ අත්තා පවා කුඩා සන්දියේ දී රැදී ඉදලා තිබේ... හැමදාම හැමෝටම මොර දුන්නු මොර ගහට මහ වැස්ස දුන් පහර තදින් බලපා තිබේ... තද හුළග මොර ගහේ මුලින් උදුරා දමා සදාදරණීය ගස මරා දමලා තිබේ... සොබාදම මැවූ දේ සොබාදම ගෙන ගිහින් වැව අයිනෙ ආයෙමත් මොර ගහක් නෑ ගමේ... ගහේ හෙවනේ රැදුණු මොර වලින් කුස නිවුණු හැමෝගෙම හිත් වලට ඒ අඩුව දැන් දැනේ... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 252 2 1
නොකී කවියක තවත් පිටුවක් හෙමි හෙමින් පෙරළා බලා... මැරුණු පත්ඉරු පැන්සලයකින් මම හොරෙන් එහෙ මෙහෙ කළා... නිශාචර හිත රෑ හීනවල දෑස් නොපියා සිටි නිසා... ඇස් පියන් බරවී රිදෙයි තව කදුළු නැති ගල් හිත නිසා... වියළි මල් කොල වාගයක් ඇත පොත ඇතුලෙ තව වේලිලා... මුල් අදින්නට පොත ඇතලෙ ලූ අක්කපානත් මියැදිලා... පොතේ පිටුවල ලිව්ව මතකය මැරුණු හින්දා ගොළුවෙලා... පෑන් පැන්සල් ඉරි එක්ක තව කොලත් ගියදෙන් මැලවිලා... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 294 2 2
මම අතීතය අල්ලාගෙන සිටිමි මම අනාගතය අල්ලාගෙන සිටිමි එහෙයින් මට වර්තමානය හෙවත් මේ මොහොත මග හැරී ඇත... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 235 4 5
ග්‍රැහැම්බෙල් නුඹ මගෙන් නොඅසා දුරකතනයක් හැදුවෙ මොකටද... ඒ යන්තරෙන් එක අංකෙකට සිය වතාවක් ඇමතුවා මම... එහා පැත්තෙන් පිළිතුරක් නෑ දැන් මාස ගානක් වෙනව තව... හැම අංකෙටම උත්තර දෙන්න ඇයි හැමෝටම නොකිව්වේ නුඹ... පෙර දින වලදි නොනවත්වාම මගෙ අංකයට ඇමතුම් ආව... ඒ අංකයෙන් හැම උදයේම නොවරදවාම මට සුබ පැතුව... දැන් ඇයි මෙහෙම නුඹ හැදුවාට වැරදියි වගේ මේ නිමැවුමම... ආයෙත් ඇවිත් හදලා යන්න මේ යන්තරේ කැඩිලද කොහෙද... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 341 3 3
දේදුන්න ඇන්දාට අහසෙ මැද්දට වෙන්න කවුද කිව්වේ එයට පාට හතකුත් දෙන්න... වැස්ස සහ ඉර එළිය මැද නොඇද දහවලක අදින්නට තිබුණානෙ සුදු පාට සද රෑක... මට ඕනි මගෙ පාට විසි හතර පුරවන්න දේදුන්නෙ හැඩේ මට වෙනස් කර දෙනවාද... රෑ මොකද කලු කළේ සුදු පාට හොඳ නැතිද ඉර තදට කහ පාට ගැළපෙන්නෙ නෑ එයට... හඳ මොකද සුදු පාට රෑ කරමු සුදු පාට හද අදිමු සුදු රැයක කොටුවකින් කොළ පාට... මගේ කැලතුනු ගීත හිත කලඹනා විටෙක වැන්ගෝ වාගේම ගිම්හානෙ මහ රෑක... අපෙ ඉරිඟු යාය මැද හිසට වෙඩි තියාගෙන මට හිතුනොතින් එහෙම මියැදෙනව මමත් හෙට... - චතූ
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps