437 Total Nisadas Found


චතුරංගි හර්ශිකා Nisadas Count (437)





චතුරංගි හර්ශිකා 5 years ago 219 2 2

Nisadas Image

කතාවක්

මේ ටිකේම කලබලේට
හිතන්නවත් බැරි වුණානෙ
මම ආසම ලස්සන එක
පොතක් මටත් හම්බුණානෙ...

මගෙ දිනපොත මේ අහපන්
පුදුම කතාවක් තියෙන්නෙ
එකමත් එක කාලෙක මම
සිටුවරයෙක් ගැන කියන්නෙ...

මොන්ත ක්‍රිස්තෝ ඔහු පුදුමයි
දෛවය ඔහු පෙරළද්දී
හරි හයියට නැගිටින්නට
යකඩ හිතක් ළග තිබුණී...

තරුණ වියේ සුන්දර ඔහු
ආලය කළ මර්සිදී
අහිමි වුණේ ඉරිසියාව
ඇති උන් හින්දයි නිතී...

වැටෙන තරම් කොතරම් ලොව
නතර නොවී නැගිටිනවා
පුදුම මොන්ත ක්‍රිස්තෝ ළග
මගෙ හදවත නැවතෙනවා...

ජීවිතයේ තමන් පවා
තමන්ට අහිමිව ගියා
පුදුම තරම් හයිය හිතට
බොහෝ ඉසුරු හිමිවුණා...

හෙට දිනයේ මගෙ හිස මත
ලෝකය වැටුණත් කඩා
ධෛර්යයෙන් මුහුණ දෙන්න
ඒ කතාව ඇති වුණා...

- චතූ

චතුරංගි හර්ශිකා 5 years ago 346 4 6

Nisadas Image

ලියුමක්!

ආදරණීය මිතුරිය වෙත,

මම මගේ හිත කවි කරන්නට
මෙහෙට ආවම හමුවුණේ නුඹ...

ඇත්තමයි හරි ලස්සනයි නුඹෙ
කවි ලියන කවිකාර හදවත...

මම නොදුටු මගෙ සුහද මිතුරිය
ලියන්නට සහ රසවිඳින්නට...

කදිම මනසක් උරුම නුඹ ළග
තිබුණු ආදරණීය හදවත...

මම මෙහෙට ගොඩ වැදුණු දා සිට
නොදුටු මේ ඉම කොහෙද මුල්ලක...

මම තැබූ මගෙ හැම සටහනම
කියෙව්වා නුඹෙ මිතුරු හදවත...

හිතේ දුක වාගේම සතුටත්
අනිත් උන් හා බෙදා ගන්නට...

දිනපොතක් වාගෙමයි මට දැන්
මගේ නිසදැස් ලියන මේ තැන...

මේ ඉසව්වේ හුදෙකලා බව
මැදින් මට මුණගැහුනු නුඹ ළග...

තිබුණු සුහදම මිතුරු හදවත
සුන්දරයි කවිකාර මිතුරිය...

මට පෙන්වු නව කවි සයුර මැද
මම මගේ හිත් නැව පදවගෙන...

සිතළු දිග හරිමින් තුටින් යමි
අපූරුයි ඔබ කියපු ඒ තැන...

කවිකාර උන් ගොඩවෙනා නිති
සෙනෙහෙබර හිත් අකුරු වෙන නිති...

හිතළු ඉම එක සොඳුරු මුල්ලක්
මටත් ලැබුණා කදුළු හෙම නැති...

නුඹට තුති පුදනෙමි මිතුරි නිති
සෙනෙහෙබර නුඹ කවියක් ම රිසි...

වදන් අතරේ හැමදාම අපි
මෙහෙම හමුවෙමු වචන තුළ නිති...

මම,
චතූ

චතුරංගි හර්ශිකා 5 years ago 267 2 2

Nisadas Image

එදා

මෙහෙට කිව්වා වගේම වැස්ස
ළගකදී පායන පාටක් නෑ වගේ...

රෑට වහිනකොට හරි සද්දෙ
වහලෙට වැහි වතුර වැටෙන සද්දෙට දෙවෙනි නෑ අකුණු සද්දෙ...

ඒත් මගෙ හිත වැහි වලාකුළු එක්කම
අතීතෙට දුවනවා...

අද පෝය දා
උදේම ගියේ කැලණිතිස්ස ගහ බලන්න
උඹයි මමයි මුණ ගැහුනු තැන
අද වගේම දවසක...

දවල් පන්සල් ගියා
හවස ඉදලම වැස්ස...

මගෙ ජීවිතෙත් වැස්ස වගේ
ඔහේ ගලාගෙන යන සිද්ධි කදුළු වලට හේදෙනවා...
මට උඹව මතක් වෙනවා...
මතකද එදා

මේ වගේම හරි සැරට වැස්ස
උදේ ඉදලම වහිනවා...

වීදුරු දොරෙන් මගේ දිහා බලලා
එදා දවල් උඹ හිනාවුණා...
ඒ අපි අපිව දැක්ක අන්තිම දවස
මට ඒ වෙලාවේ එහෙම හිතුනෙ නෑ...

හවස මම යනකොට
ඉස්සර පුරුදු විදිහට උඹ එදත් හිටියෙ නෑ...

උඹම පටන් ගත්ත සමහර පුරුදු
උඹම අමතක කරනකොට
ඇත්තටම කදුළු එනවා...

වටින දේවල් වටිනවා කියලා
පරිස්සමට තියාගන්න අයට
වටින දේවල් දෙන්න ආසයි...
මම ඒකයි උඹට මගේ
හිත දුන්නේ...

මැරිච්ච පැලේකට වතුර දාලා
තේරුමක් නෑ
මම දැන දැනම කරන්නෙම ඒක...

එහෙටත් වහිනවද?
මේ වගේ...

මම අකුණු වලට බය නෑ
මම බය මතක වලට...

මතක අකුණු වැදිලා
මගෙ හිතත් පිච්චිලා...

ඒක නිවන්න
හැමදාම වගේ මම
කදුළු වතුර හලනවා...

- චතූ

චතුරංගි හර්ශිකා 5 years ago 244 3 5

Nisadas Image

ගඟ

මම දැන් ඉන්නෙ පහළ
ගඟ ගාව

ගිය අවුරුද්දේ
මේ මාසේ අද වගේ දවසක

මෙතැනට ආවා මතකයිද ?

අමතක වෙන්න බෑ
උඹ අමතක කරන්න ඇති
බලෙන්ම

ගඟ තාමත් එහෙමයි
ගලාගෙන යනවා

ඒත්
ගඟ මාව අදුනන්නෙ නෑ වගේ
අහක බලාගෙන ඉන්නවා

ගඟට මතක නැතුව ඇති
තනි මාව

හැමදාම අපි දෙන්නම ආපු නිසා
ගඟට මතක අපි දෙන්නම එකට ඉන්න රූපයක් වෙන්න ඇති

මම ගඟට කතා කළා
අර අපි කෑම දාපු මාළුවන්ටත්
කතා කළා

මම කිව්වා
උඹ ගියා කියලා

ආයෙ නේන්නම
ගඟත් ඇඩුවා

ගඟ අඩනවා දැකලද කොහෙද
අහසත් අඩන්න ගත්තා

වැස්ස කඩා වැටුණා

උඹ මට තෙමෙන්න එපා කියලා ඒ දවස්වල
කිව්ව හැටි මට මතක් වුණා

දැන් මම
මම කැමැත්තෙන්ම තෙමුනා

වැහි බිංදු වැටෙනකොට
මමත් එතැන නොරැදී
ගෙදර ආවා

ආයෙත් මම නොයා ඉන්න හිතන් ඉන්නෙ
ගඟ ළගට

මොකද

එතන උඹ ඉන්නවා වගේ මට දැනෙනවා
එතන ඉවුරක මට අපේ මතක හිත තියලා එන්න ඇත්නම්

- චතූ

චතුරංගි හර්ශිකා 5 years ago 266 3 4

Nisadas Image

දින පොතෙන්

2020 සැප්තැම්බර් මස 01 වෙනිදා
දැන් වෙලාව ප.ව. 4.00 යි.

මන්දාරමට හීතල හුළං
කවි කියනවා
නුවරට අදත් ටිකක් වැස්ස...

හවස් වෙන්න කලින්
පන්සල් යන්න ඕනි...

හවසට වැස්සොත් හෙම
යන්න වෙන එකක් නෑනේ...

ලන්ද මැදින් මීදුම
බොද වෙලා...

උදේ කඩාගෙන ආව කහ මල්
වට්ටියක් පුරෝලා තියෙනවා...

උඹත් හිටියනං
පන්සල් යන්න...

උඹ කෝවිල් යනකොට
මමත් ආවා...

ඒත් එක පාරක් වත්
උඹ එක්ක පන්සල් යන්න බැරි වුණානේ...

අපේ බුදු හාමුදුරුවෝ ඉස්සරහා
දණ ගහලා වැදලා...

ජීවිතේ ගැන
කියාදෙන්න තිබුණා උඹටත්...

දැන් ඒවගෙන් වැඩක් නෑ
මීදුම පාර වහගන්න කලින්
ඉක්මනට යන්න ඕනි...

හැන්දෑවට අද නං
පුර හඳ පේන එකක් නෑ වගේ...

වැහි කදුළු වැටුනොත්
මතක අස්සෙ ගුලිවෙලා
මේ පෝයත් ගෙවිලා යයි...

- චතූ

චතුරංගි හර්ශිකා 5 years ago 272 2 2

Nisadas Image

කහ මල්

2020 සැප්තැම්බර් මස 01 වෙනිදා
මල් පාර අසලදී...

හා හා පුරා කියලා
අළුත් මාසෙ පලවෙනි දවස...

මම ආවා
අපිට පුරුදු මල් පාර ළගට...

තවම උදේ
නවයට විතර ඇති...

මීදුම හරි සැරට අහස
පුරෝගෙන...

නුවරට අදත් වැස්ස
අනෝරාවට කඩාගෙන නොවැටුණාට
දවසම ටික ටික වහිනවා...

මම ගියා
හැමදාම නැවතුණු කහපාට මල් ගහ යටට...

තාර පාරේ ඈතින් වාහන එක දෙක
එනවා...

හරි සද්දෙට බයික් එකක් එනවා
ඇහෙනවා...

ඔන්න එයා එනවා!
මගෙ හිත කෑ ගහලා කියනවා...

උඹට පිස්සුද?
මම හිතෙං අහනවා...

එයා ගියා
යන්නම ගියා...

ආයෙ එන්නේ නෑ
ආවත්, දැන් මට අයිති නෑ...

කහපාට කැලණි තිස්ස මල්
සිය ගානක් බිම වැටිලා...

එන එන හැමෝගෙම
පයට පෑගෙනවා...

මීදුම අහස වහගෙන
ඉර පේන්නවත් නෑ...

ඒත් මේ ගහයට
ඉර පායලා වගේ...

කහ මල්
බලාගෙන ඉන්නවා මාත් එක්ක
අහස දිහා...

ඉර එනකං...

- චතූ







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps