437 Total Nisadas Found


චතුරංගි හර්ශිකා Nisadas Count (437)





චතුරංගි හර්ශිකා 5 years ago 297 4 6

Nisadas Image

සිත්තර මනාලිය

මල් කළඹ වූයේ
පින්සල් පොකුරයි ඈට...
මල් පැහැය පැරදූ
නේක වර්ණ තිබුණි එහි යසට...

පති කුලය අසබඩ
පාට ගෑ ජීවිතේ සොයා යන...
නෙක වර්ණ සිතුවමින්
ජීවිත සිතුවම් කරන...

සිත්තර මනාලියයි ඈ
කුලගෙය තුළ කදුළු නොදකින...
දේදුනු පැහැ සායම් ගෙන
කදුලින් දිය කර අදින...

ඇගේ ජීවන සිතුවමට
මිලක් දිය නොහැකි වේ කිසිදින...
දිනෙක ළපටි පුතුන් පිරිවරා හිදින
සිතුවමක් මැවේවි ඇගේ දෑතින්ම...

සිත්තරුන් හිත්වල කදුළු නැත
උන් ඒ කදුළු දිය කර සිතුවම් කර ඇත...
සිත්තර මනාලියක් පතිකුලයට ගිය දිනෙක
ලොවට කිසිදා ඇගේ කදුළු නොපෙනෙනු නිසැක...

ජීවිතේ පාට ගෑ හීන පුරාවටම
අවසානයක් නොමැති ඇගේ වර්ණිත සිතුවිල්ල...
යළි යළිත් හද කැන්වසය මත
ඉපිද ඉපිදී වර්ණ උරාගනු ඇත...

සිත්තර මනාලියයි ඈ
නෑඹුල් ම තාරුණ්‍යයට උරුම සිනහව...
සිහිනිග මැකී යන අවරගිර දිවි හෝරාවේ පවා
ඇගේ වත මඩල මත සිතුවම් ව තිබෙනු ඇත...

මම,
චතූ
2020 නොවැම්බර් මස 20 වැනි දා
පෙ.ව. 11.20

චතුරංගි හර්ශිකා 5 years ago 245 4 4

Nisadas Image

නුඹ නාව මාවතේ බලා හිටියා තනිව

________________________________________

බලා හිටියා මම...මේ දීවාලියටත්, පුරුදු විදිහට, නුඹ ඇවිත් යයි කියලා. සෙයිලමේ සයිවර් කඩෙන් මට පරාටා අරන් දෙන්න නුඹ එයි කියලා...ඒත්, ඒක හීනයක් විතරයි. දීපාවලී හඳ අහසින් බැහැලා ගියා. ඒත්, නුඹ ආයෙ ආවෙ නෑ...

________________________________________

සිපගන්න අනවසර දෑස් අද්දර නිසල
සිතුවිල්ල අකීකරු කතා කියනව නිතර
හිත් පුදසුනේ පිදූ දැවෙන ගිනි මල් පොකුර
සදාතන හීන අළු කර දවයි ජීවිතය

අනවසර දොරටු හැර හද උයන ගිනි තබන
මුලාවක් වුණා හිත යළි යළිත් පාරවන
අහස් ගැබ ඈත දුර සැගව යන්නට දෙන්න
ලොවට රහසින් තැනක මට සදා නවතින්න

සීතලම වැස්සකට තෙමී දියබත් වෙන්න
ඉල් මහේ නිල් පාට ආකහේ දියවෙන්න
සෙයිලමේ දුර ඈත ගිය ගමන සිහිවෙන්න
නුඹ දුන්නු හාදුවේ මතක සුවඳයි තවම

දීවාලි අහස යට පුර හඳට ළං වෙන්න
මග බලා නුඹ එක්ක දෑත් පටලා යන්න
ගිය වසරෙ වගේ මේ වසරෙදිත් ඔබ එන්න
කියා පැතුවා හිතින් වැද පුදා දෙවියන්ව

හුදෙකලා දීවාලි සද අහසෙ ගිලෙනකොට
නුඹ නාව මාවතේ බලා හිටියා තනිව
පැතුම් මල් එකින් එක පරවෙලා වැටෙනකොට
හිස් දෑස් අහස් කුස දෙස යොමා සිටිමි මම

මම,
චතූ
2020 නොවැම්බර් මස 19 වැනි දා
ප.ව. 1.16

චතුරංගි හර්ශිකා 5 years ago 256 3 4

Nisadas Image

නංගිගේ රචනාව

බමන මතින් ගොරසැඩි වදනින්
අමතා...
ඇදෙන විටදි හැන්දෑවට ගෙදර
පියා...
පුංචි නංගි දෙනෙතේ කදුලක්
පුරවා...
තුරුළු වුණේ මවගේ ළමැදට
දුවලා...

ගෙදර මුට්ටි හැලි වළනුත් පොලවෙ
ගසා...
මිහිපිට අපායක් මැව්වා ගෙදර
එයා...
කම්මුල් පුරාවට නිල් පැහැ ලකුණු
තියා...
ලෝකෙට හොර රහසේ හැඩුවා අපෙ
අම්මා...

ජීවිත බුදින මත් වෙන වතුරෙන්
යටවී...
පැල් කොටයට ගිනි ගත්තා හිත්
පොඩිවී...
උයාගත්ත බත් පත කන්නට බැරි
වී...
කුස ගින්නට කදුලැලි බිව්වා
ගුලිවී...

පහුගිය දිනෙක පොඩි නංගිගෙ
ඉස්කෝලේ...
ටීචර් අම්මාට එන්නට කිව්ව
වෙලේ...
අම්මට කොපි පොතක් ඈ දුන්නලු
රහසේ...
තාත්තෙක් නැතැයි රචනාවේ
තිබුණේ...

ඊටත් පහල පේලිය දෙක
පුරාවට...
සිතුවම් කර තිබුණා ඈ දිග
අතට...
රෝස පාට මල් ඉහිරුණු
මාවතක...
අම්මයි මමයි නංගියි හිටියා
යසට...

මම,
චතූ
2020 නොවැම්බර් මස 18 වැනි දා
පෙ.ව.1.14

චතුරංගි හර්ශිකා 5 years ago 266 3 4

Nisadas Image

වීදි දරුවන්ගේ කදුළු

කියන්නට මට හිතේ ගින්දර
කවුරුවත් නෑ නංගියේ...

නුඹේ කුස ගිනි නිවන්නට මට
කාසි නෑ මගෙ පැංචියේ...

හිසට වහලක් තනන්නට මට
දහිරි නෑ මගෙ සොයුරියේ...

නුඹට අම්මෙක් හොයන්නට මට
තැනක් නෑ පොඩි බිළිඳියේ...

ප්‍රේමයට ලේ කිරි වෙතැයි මම
අහලා තිබුණා හිච්චියේ...

හිතේ උතුරන සෙනෙහෙ කන්දට
කිරි එරුණෙ නෑ නංගියේ...

පුංචි දෑසින් බලා මා දෙස
සිනා නොමසෙන් ළදැරියේ...

පපුව පිච්චෙයි අහිංසක ඇස්
දකිනකොට මගෙ පොඩ්ඩියේ...

හවස් යාමේ සෙයිලමට ගොස්
අත පෑවමුත් සිගමනේ...

ලැබුණු සොච්චම උඹේ කුසගිනි
නිවන්නට මදි වූ පැයේ...

හෙටට උපදින අලුත් දවසට
හීන ඇහිඳින නුඹෙ නෙතේ...

කදුළු බිදුවක් දකින්නට මට
හයිය නෑ මගෙ නංගියේ...

තුරුළු කරගෙන නුඹව පපුවට
හීන මියැදෙන ජීවිතේ...

බලා ඉන්නම් හෙටක් නැති මේ
පාළු මූසල වීදියේ...

මම,
චතූ
2020 නොවැම්බර් මස 17 වැනි දා
ප.ව. 8.41







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps