1,804 Total Nisadas Found





Ranatunge Jayawardene 2 years ago 222 0 0

Nisadas Image

ගල් සිත

හිතේ හයියෙන් මෙලෙක් කර
කළු ගලේ සිතුවම් කෙරුන
ජීවමාන අප්සරාවිය ඔබ ..
දෙනෙත් අඩවන් කර ගෙන
බලනු ඇයි සැකයෙන් මා දෙස ?
නෙළුම් මල් පෙති ගනිමින්
වරදක් වසන් කරනට
හේතු හොයනා ළදරුවකු මෙන්.
*
සත්‍යය සෘජුය
කෙලින් පැවසිය නොහැකි මුත්
ඒ වසන් කල නොහැකිය..
ලෝකය දැනගත යුතුය
එය ඔබටද දැනෙන සේ
ටීකා කොට කෙටියෙන්
පසෙක දක්වනු රිසියෙම්.
*
"මා මෙහි ආ ගිය බව ත්,
ඔබ බලා මා මත් වී මෙන්
මගේ අවසරයක් හෝ නොබලා
ඇස් ඔබෙන් ඉල්ලූ දේ
ඇසම සොරකම් කල බවත්
සිතෙන් ඉල්ලු පහස
සිතම උදුරා ගත් බවත්
මෙහි ලියා තබමි."
*
තව ගී ලියන්නට සිත් වුවත්
සිත මෙල්ල කරගෙන
සඳැස් ගලපනු නොහැකි ව
මා සිතද ගල සේ දැඩි කොට
අකමැත්තෙන් වුව
ඔබව මෙහි තනිකර දමා
හෙමිහිට පල්ලම් බැස ගියෙමි.
-------------------------------------------------
රනේ/20අගෝ2024/ගල් සිත

Ranatunge Jayawardene 2 years ago 233 0 0

Nisadas Image

ගැහැණු අපි

තනි ගමන් යන්න බැරි
තනිව හැසිරෙන්න බැරි
තීරනත් ගන්න බැරි
පෙරමුනට එන්න බැරි
*
මල වගේ සුමුදුවට
හඳ වගේ ලස්සනට
කවි වගේ මිහිරියට
අපි ඕනැ ලෝකයට
*
සිතුවිල්ල ඔබේ මයි
සැලකිල්ල ඔබේ මයි
ලොකු කමත් ඔබේ මයි
අපි ගැහැණු විතරමයි
*
පෙරමූණයි ඔබ ගන්නෙ
අපි ඊට ඉඩ දෙන්නෙ
ඔබ අසල ගැවසෙන්නෙ
අඩු ලුහුඬු පුරවන්නෙ
*
එකත් පස්ව යි ඉන්නෙ
හැමට පස්සෙයි කන්නෙ
අන්තිමට නිදියන්නෙ
පළමුවෙන් නැගිටින්නෙ
*
ගෙ දොර කල එලි කලා
ළමයි ඇති දැඩි කලා
වැඩ පොලෙත් වැඩ කලා
හැමට අපි ගරු කලා
*
මුල් තැනද සම තැනද
දෙන්න මට ඔබ කවුද?
ගැහැණු අපි එක මිටට
ජය අරන් එක දිගට !
*
ගේ දොරත් අපි එකට
වැඩ පලෙත් අපි එකට
ගුණ දමෙන් අපි එකට
ජීවිතෙන් ජය අපිට !
----------------------------------
රනේ/18අගෝ2024/
ගැහැණු අපි

Ranatunge Jayawardene 2 years ago 244 0 0

Nisadas Image

මඟුල

මුහුණ සුදු වී වැඩිද මන්දා
දෙතොල් වල රතු කැතද මන්දා
කොන්ඩෙ කටු තව බරද මන්දා
දීග දෙන්නට 'හදන' නන්දා
*
ප්‍රී ෂූට් ටික හැඩට ඕනා
ඇවිද යනවිට ඔමරි පානා
පෙම් හිනාවක් මවා පාලා
විටින් විට මට හාදු දීලා
*
සාරි දවසට බද්ද විස්සයි
මගෙ සුට් එක ගන්න විස්සයි
හයර් කා' එක දිනට විස්සයි
රෑට දවසට ඉන්න විස්සයි
*
හෝල් එක අපෙ අම්ම ගානේ
පෝරු, නැට්ටුවො මාම ගානේ
වීඩියෝ වැඩ අයිය ගානේ
පොටෝ මල්ලිය අරය ගානේ
*
රත්තරන් ණය අරන් හැදුවා
ගෙදර තරමක් සුද්ද කෙරුවා
තාප්පෙත් මම පාට කෙරුවා
අපේ ගෙදරම ඉන්න හිතුවා
*
අපෙන් පනහයි එහෙන් පනහයි
මඟුල දවසයි, ලස්ස විස්සයි !
තෑගි ලැබුනත් ලස්ස හතරයි
දැනටමත් ණය ලස්ස දහයයි
*
මේක මඟුලක් මාර උගුලක්
ජීවිතේ මග ලගින කෙලියක්
නෑයො, යාළුවො මොකා කීවත්
හඳපානෙ පැන යාම ජොලියක් !
-------------------------------------------------
රනේ/10අගෝ2024/මඟුල







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps