චතුරංගි හර්ශිකා Nisadas Count (437)
චතුරංගි හර්ශිකා 6 years ago 303 3 4
ගම මැදින් ගලන ගඟ හැමදාම හැමදේම සෝදගෙන ගලාවිත් ගල් බොරලු හැංගුවා... දෙවැට අයිනේ පදුරු වතුසුද්ද මල් වලට දූවිල්ල නොවැදෙන්න වතුපාළු පැල වුණා... හිරු එළිය හරි තදට මිරිස් පැළ මරනකොට ගම්මිරිස් වැල් පවා පුංචි පැළ බේරුවා... නිල් වතුර අඩන තැන පුංචි මාළුවො නිතර මදුරු පැටවුන් පවා ආදරෙන් සුරැකුවා... හැමදාම පුරපෝය සද අහසෙ නැගෙනදා පේලියට පන්සලට ගම්මු හවසට ගියා... කැලෑ අලියට පවා කරුණාව පාන්නට හුරු පුරුදු හිත් තිබුණු අයවලුන් එහි වුණා... මගෙ ගමේ හැමතැනම හැම මොහොතකම වගේ ආදරේ වාගේම සෙනෙහසත් ඉතුරුවා... අද වගේ නොවෙයි ඒ අතීතේ මගේ ගම තව්තිසාවක සතුට හිත් ඇතුලෙ දිලිසුනා... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 355 3 4
නිහඩ හිත යට කවියක් ය ඔබ මගෙ ළදරු ලොව සුරගනයි ඔබ... හවස් යාමෙට ගෙපිල මත හිද උඹේ උකුලේ නැලවුණා මම... ගීත කවි හා කතන්දර ගැන නුඹ තරම් කවුරුත් ම නෑ දැන... මගෙ අඩන හිත පවා හෙමිහිට සිහින විමනට ගෙන ගියා නුඹ... කිරි හාමි ගැන අන්දරේ ගැන මහා පැරකුම් රජතුමා ගැන... මහා කණ්ඩුල ඇත් රජුන් ගැන ගැමුණු නම් මහ රජතුමා ගැන... මහ රෑට රෑ අහස සරසන අපි නොදන්නා සුරගනන් ගැන... සිරිත් මල්දම පුරා කියැවුණ හොදම හොද ඒ පොඩි ළමයි ගැන... අපේ ගම ගැන අපේ වැව ගැන පුරාණේ මහ වීරයන් ගැන... කටුස්සන් ගැන කුරුල්ලන් ගැන අලි ඇතුන් මහ වන සතුන් ගැන... ආත්තම්මේ විශ්වයේ ඇති බොහෝ දෑ මට ළං කලා නුඹ... එදා බාලේ මගෙ ළදරු හිත උගත් අරුමැසි සරසවිය නුඹ... හිමිවීම හා අහිමිවීම ද උගන්වා මට හැර ගියා නුඹ... මගේ දෙවගන මගේ යෙහෙළිය මගේ මව් තුමියත් වුණා නුඹ... මගේ කඩඉම් සටහනක් ළග නිසැක පියවර සටහනක් නුඹ... ජීවිතේ දෙස අමුතු ඇසකින් දකින්නට මා හුරු කලා නුඹ... ලෝකයේ හැම පණ නළකටම පෙම් කරන්නට හුරු කළා නුඹ... නුඹෙ සොහොන මත පැල කලා මම නුඹම මට දුන් පිච්ච මල් ගස... මගෙ හිතේ රන් මාලිගාවේ සදාකාලික සුරගනයි ඔබ... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 310 3 4
නොසන්සිඳෙන මගේ හැඟුම් විලංගු ලා සිරකරන්න... අහස පුරා දුවනා හිත වලාකුලක රදව ගන්න... මගේ පුංචි ළමා වියේ මට හරි දේ කියා දුන්න... මගේ ගුරුතුමී ආදර යන්න ගිහින් යළි නේන්න... ඇගෙ ලා පැහැ ඔසරිය ළග ආදරයෙන් තුරුළු වෙලා... ඇගේ සුවද වින්දා අපි පුංචි එවුන් හැම පෙරදා... යළි නොඑනා ගමන් ගියත් හැම නෙතක ම කදුළු තියා... නුඹෙන් දිවිය උගත්තවුන් සිහි කරාවි ඔබ හැම දා... නුඹෙ මතකය සුවද දෙමින් ජීවත් වෙයි මතු හැම දා... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 314 3 4
නික්ම යාම (ගිරවෝ නුඹට) නිතරම දෑස් සෙව්වේ නුඹෙ මාවම ද... නිතරම මුවග රැදුනේ මගෙ නම නොවෙ ද... නුඹෙ කොල පියාපත් විහිදා ගගනතට... යන්නට කිව් වෙලෙත් නොගියේ ඒ මන්ද... මගෙ හිත පුරා සෙනෙහස පුරවා හරින... හරි හිතවත් නුඹේ ඔය හුරතල් වචන... තව ටික දවසකින් මම යමි දුර යන්න... ආයෙත් එන්නෙ සති අන්තේ විතරක්ම... අනාගතය මට හඩගා රැදෙන පැයේ... මා යා යුතුය සරසවියට නිකිණි මහේ... මගෙ ගිරවෝ නුඹ හැරදා යන දිනයේ... මම මගෙ හදවතින් වෙන්වූ සෙයක් දැනේ... මට බැහැ නවතින්න මම යා යුතුව ඇත... සරසවි හීනයේ කිමිදිය යුතුයි හෙට... නුඹ සහ මතක කරපින්නා ඒ ලොවට... හෙට මම යා යුතුව ඇත එහි නවතින්ට... ගිරවෝ නුඹට පාළුව හෙම දැනුනාට... නොහඩා ඉවසපන් සති අග වෙන තෙක්ම... සති අන්තේ හනික මම එනවා ගෙදර... නුඹෙ කොල පියාපත් අතගා සනසන්ට... වෙනදා වගෙම මගෙ නම මුමුණා හවස... මග බලමින් ඉදපන් මම එන තුරුම... හිතවත් මගේ මිතුරෝ නුඹගේ වචන... මට බලකරනවා නොගිහින් නැවතෙන්න... හිත රිදවා ගෙන දුක් වී වැලපෙන්ට... මට හිතුනත් යා යුතුමයි මම එහෙට... මම එන දාට උඹ හට රසකර කන්ට... පලතුරු ගොඩක් ගෙන එන්නම් හැමදාම... චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 288 3 4
අහස් ගැබ ළග සැදෑ වරුවක මම හිදිමි එක ගල් තලාවක... සයුර අසබඩ සුළග සැරසෙයි මගේ කෙහෙරැළි අවුල් කෙරුමට... සද සයුරෙ ගිලෙනා නිමේෂෙක දුර ගගන ඇත රක්ත සයුරක... ක්ෂිතිජයේ රූ මැදින් බොදවී මම දුටිමි එහි මගෙ ආත්මය... එසැනින්ම විත් මගේ කුටියට රැගෙන තෙලි තුඩ අන්ධකාරෙක... කැන්වසය මත මම දුටුව දෙය කුරුටු ගෑවෙමි ස්වප්නයක් ලෙස... චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 267 3 4
සිනහව හිතේ හිර කරගෙන කදුලම බුදින මිනිසුන් ගැන ඇසුවා මමත් විස්තර හෙම රිදෙනා තැවුල් ලතැවුල් ගැන... හඩනා නමුත් රෑ තුන්යම දහවල සිනාවෙන් සරසන අරුමැති සොදුරු ගැහැනුන් ගැන ඇසුවා මමත් මුවගින් දන... සිනහව වතේ රැදුනත් නිති සදක් වගේ කදුලක් හිතේ සිරවී ඇත ගගක් වගේ දුක් සගවා සිනාසෙන හැටි සයුර වගේ ඇය පුදුමයකි හිනැහෙන නිති මලක් වගේ... සියුමැලි හිතට පුළුවනි උහුලන්න ගිනි සුදුමැලි දෑත් හයියයි පිරිමින් දෙවැනි දසමස කුසදරා දරුවන් වදන ගිනි උහුලන ගැහැණු හිත් වල ඇත පුදුම සවි... ගැහැණිය බොළඳ කුසුමක් බව කිව්වාට ඇය ලොව විසල් දුක් වළදයි හැමදාම කොතරම් ගැහැට ආවත් එක පිට ඇයට ඈ හිනැහේවි කදුලැල් සගවා හනික... විටෙකදි මවක් විටෙකදි යෙහෙළියක් වෙලා විටෙකදි ළදැරියක් විටෙකදි බිරිඳ වෙලා විටෙකදි සෙබලියක් විටෙකදි සිරිකතක් වෙලා ගැහැණිය වෙසෙයි සැම තැනකම සවිය බෙදා... වේදනාව දුක ඉවසාගෙන ඉන්ට පිරිමි හිත් වලට බැරි ගින්දර ගන්ට වැටෙනා මොහොතකදි නැගිටී හිනැහෙන්ට හැකි වානේ හිතක් උරුමයි ගැහැනුන්ට... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 283 3 2
මිදෝරියේ හැම හවසම රැදී නිහඩ හෝරාවක නුඹ එනතුරු දෙවෙන්දොරා නොරිකෝ සං බලා හිඳී... කබුකි හලත් ගරා වැටී සකෙ සුවඳක් අහලක නැති සකුරාවේ වසන්තයට නොරිකෝ සං හඩා වැටේ... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 280 2 2
අදින් පසු මම මගේ කවි තුල ඔබේ මතකය ලියන්නේ නෑ... හිතට ඔබ එන මොහොතකදි මම මගේ නෙත් යළි තෙමන්නේ නෑ... උඹට හැරයනු හැකියි නම් පෙම මමත් ආයෙත් තැවෙන්නේ නෑ... රෑ පුරා නුඹ හීනයක් නම් ආයෙමත් මම නිදන්නේ නෑ... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 299 2 2
අල්තීනායි ඔබට ලියමි. අයිලයේ අපි හදපු අපේ පාසල ඇතුලෙ මට පෙනුණු සුවද මල නුඹ වුනා අල්තීනායි... මගෙ දෙනෙත් අද්දරම නුඹ පරවුනා දිනෙක අපි දැකපු දොළ පාර පවා හැඩුවා දුකට... නුඹෙ දෙනෙත් පාදන්න සිප් සතර ගෙන දෙන්න මා වෙතින් බොහෝ දුර නුඹ ඈත් කෙරුවාට... හැම ඉසව්වකදීම අයිලයේ මද සුළග සිහිකලා මගේ හිත සොරා ගත් ඒ නුඹව... අපේ පොප්ලර් ගාව මම තැනුව හීන ලොව බිදී වැටුණත් දිනෙක ජය ගනින් නුඹ ලොවම... මගේ ප්‍රේමිය නුඹට ජීවිතේ දුන් සතුට හඩන විට මගේ හිත සනසාවි හැමදාම... (මම - දුයිෂෙන්) - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 270 2 2
අහිංසක දෙනෙත් ළග නැවතිලා ඉන්න ඇති කාලයේ සැඩ පහර ආදරේ මරන්නැති ඒ නිසා සෙනෙහෙ හිත වෙන හිතක් පතන්නැති ඒත් ඒ ගැහැණු ඇස් දුක දරා හිදින්නැති ඇගෙ හිනා වත තුළින් කදුළු පිස දමන්නැති සොඳුරු ඇය පුදුමයක් අදහ ගන්නට නොහැකි - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 314 2 2
නිසදැසක් හරියට පිස්සුවක් මුළු හිත පුරාවට වචන රැදෙනා... කවි ගී පොතත් එක පුදුමයක් හිත් මලට ගොඩවී හිතම නිවනා... මම නොහැඩුවත් හැඩුවත් ඉතින් දුක වචන තුළටම මුදා හරිනා... මගෙ නෙත් තෙමූ හෝරා ගොඩක් මේ පුංචි කාලෙට මටත් ලැබුණා... නුඹ නොමැති නම් කවි පොත මමත් දැන් අන්ධ කවියෙක් හිතින් ලියනා... මගෙ හිනාවත් කදුලත් හෙටත් ඔය නුඹේ පිටු මත රඳවමි මෙමා... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 289 2 2
ලියන්නට ඉඩක් නැති පිරුණු පොත මැද මමත් එකම එක හිස් තැනක් හොය හොයා වෙහෙසුනා... මමත් මගෙ පන්හිඳත් දින පොතේ පිටු අතර අකුරු වැල් හැමදාම රූල් මැද හිර කළා... අදත් ආයෙමත් මම වාන් දොර ඇරියාට හිත් වැවේ මහා දිය පොතට හැලුමට හිතා... ඉඩක් නොතිබුණි තවත් රතු රූල කෙළවරෙත් මොන මොනවදෝ පුංචි අකුරු වැල් ලියවිලා... හිත් විලම ගලන කොට වාන් දොර වැහුවාම හිතෙයි මට වැව් බැම්ම බිදී යාදෝ කියා... මගෙ පරණ පොත් ගොඩක් බිම පුරා හලාගෙන පිටු අතර සැරිසරමි හිස් ඉඩක් හොය හොයා... - චතූ
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps